top of page

නූතන ආගමික අනන්‍යතාවය නිර්මාණයවීම

20 වැනි සියවසේ මුල් භාගයේ දී ආගමික ප‍්‍රජාවන්ගේ අනන්‍යතා විකාශය වූ අන්දම ‘නූතන ආගමික අනන්‍යතාවය නිර්මාණයවීම’ තුළ විමසා බලයි.

එවකට සිලෝන් යන නමින් හැඳින්වූ ශ්‍රී ලංකාව බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක් වශයෙන් පරිපාලනය විය. එකල ලංකාවේ ආර්ථිකය වැවිළි අංශය ස්ථාපිත කිරීම හරහා ඊට එ්කාබද්ධ වී තිබූ අතර ‘පෙරදිග‘ සහ ‘බටහිර‘ යා කරන, ඉන්දියානු සාගරයේ පිහිටි කාර්යබහුල වරායක් වශයෙන් ශ්‍රී ලංකාවේ තත්වය තහවුරු වී තිබුණි.

යටත් විජිත ලංකාව තුළ නිර්මාණය වූ නූතන ආගමික අනන්‍යතාවය අවබෝධ කරගත යුතු වන්නේ එම කාලයේ ලෝකයේ සිදුවෙමින් පැවති ශීඝ‍්‍ර ගෝලීය පරිවර්තනය සමගිනි. විවිධ ක‍්‍රිස්තියානි ආගමික නිකායන්හි යුරෝ-ඇමෙරිකානු මිෂනාරිවරුන්ගේ සංචාර හා ක‍්‍රියා, යටිතලපහසුකම් හා ප‍්‍රවාහන තාක්ෂණයේ, ලේඛනගත කිරීමේ, එමෙන්ම වැදගත් වශයෙන් මුද්‍රණයේ හා දෘෂ්‍ය සංස්කෘතියේ ඇතිවූ ව්‍යාප්තිය, මෙන්ම, ස්වදේශික ප‍්‍රජාවන් ‘ශිෂ්ඨාචාරවත්’ කිරීමට සහ පාලනය කිරීමට උත්සාහ දැරූ යටත්විජිතවාදී පරිපාලන හා අධ්‍යාපන පරිචයන්හි ක‍්‍රමවත්කරණය යනාදිය මීට ඇතුළත් ය. යුරෝපීය යටත්විජිතකරුවන් විසින් යටත් කරගෙන සිටි ලෝකයේ විවිධ ප‍්‍රදේශවල යටත් විජිත විරෝධී සංකල්පවල සහ ව්‍යාපාරවල වර්ධනය හේතුවෙන් ජනවාර්ගික-ආගමික ජාතිකවාදී හැඟීම්වල මතුවීමක් දක්නට ලැබුණි. 19 වැනි සියවසේ අගභාගය හා 20 වැනි සියවසේ මුල් භාගය වනවිට අපට මෙය ලංකාවේ බෞද්ධ, හින්දු හා මුස්ලිම් ප‍්‍රජාවන්හි දැකගත හැක. මේ ඇතිවෙමින් පැවති වෙනස්කම් භාෂාව සහ සෑදුම අතින් සැලකියයුතු තරමට ගෝලීය වූ බව මෙහිදී අවධානයට ගත යුතුය. එසේම, ආගමික අනන්‍යතා නිර්මාණය සෑම කලක ම ගතික, එමෙන්ම ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් සිදුවන වඩාත් පුළුල් සංසිද්ධීන්ට ප‍්‍රතිචාර වශයෙන් ඇතිවන බව ද අවබෝධ කරගැනීම ඉතා වැදගත් වේ.

මේ ගවේෂණයේ කොටසක් වශයෙන් ‘නූතන ආගමික අනන්‍යතාවය නිර්මාණයවීම’ මේ කාලයේ ආගමික ජීවිතය හැඩගැස්වීමට වැදගත් වූ සිදුවීම්, පුද්ගලයින් සහ ක‍්‍රියාවලි කෙරෙහි අවධානය යොමු කරයි. මේ කාලයේ ජනවාර්ගික-ආගමික සමාජානුයෝජනය සහ දේශපාලනීකරණය සඳහා අධ්‍යාපනය, ප‍්‍රසිද්ධ සිදුවීම් හා දේශන, සංගම් ස්ථාපිත කිරීම, සහ මුද්‍රිත ද්‍රව්‍ය වැදගත් විය.


අන්තර්ගතය පිළිබඳ අනතුරු ඇඟවීම: යටත් විජිත හා ජාතීන් අතර ප‍්‍රචණ්ඩත්වය, මරණ, අපහාසාත්මක භාෂාව, දර්ශන, වෙනස්කොට සලකනසුළු ආකල්ප, හෝ ක‍්‍රියා පිළිබඳ විස්තර, පැහැදිලිකිරීම් හා සාකච්ඡුා

bottom of page