top of page

මාර්ගගත ප්‍රදර්ශන

කෞතුකාගාරයේ ගැලරියෙහි ශ්‍රී ලංකාවේ ආගමික නිදහස සම්බන්ධ කාලීන ගැටළු ගවේෂණය කෙරෙන තාවකාලික ප්‍රදර්ශන සඳහා අවකාශ සලසා දෙයි. 

දැනට පැවැත්වෙන ප්‍රදර්ශනය 

බිඳීගිය ප්‍රතිමාවල ගීතය 

අබ්දුල් හාලික් අසීස්

"බිඳීගිය ප්‍රතිමාවල ගීතය" යන නමින් අබ්දුල් හලික් අසීස් විසින් සම්පාදනය කර ඇති වීඩියෝ පිහිටැවුම ශ්‍රී ලංකාවේ විවිධ මතවාද ඒකරාශී කිරීමට මෙන්ම විවිධ විවාද හා මතගැටුම්වලට තුඩු දුන් ආගමික ස්ථාන ගවේෂණය කරයි. 2021 දී යාපනය සහ ත්‍රිකුණාමලයෙන් ඇරඹෙන මෙම ශ්‍රව්‍ය දෘෂ්‍ය වන්දනා ගමන දඹුල්ල, මහනුවර, දෙවනගල, සහ ශ්‍රී පාදයේ සිට දීඝවාපිය, ජයිලානි සහ කතරගම දක්වා සංවේදනාත්මක ගමනක අප රැගෙන යයි. දිවයිනේ වාසය කරන බහුවිධ ජනවාර්ගික-ආගමික කණ්ඩායම්වලට මේ එක් එක් ස්ථානයේ ඇති වැදගත්කම හේතුවෙන් එම ස්ථාන සුවිශේෂී තැනක් ගනියි. වන්දනාමාන කරන දර්ශන හා හඬ සමගින් ඒකාබද්ධ වූ ප්‍රදේශවාසීන්ගේ එදිනෙදා ජීවිතය සහ ආර්ථික ක්‍රියාකාරකම් පිළිබිඹු කරන අසීස්ගේ චිත්‍රපටය ජංගම ප්‍රතිමාඝරයක් බඳුය- එමගින් මෙම පූජනීය ස්ථානවල සාමාන්‍ය සමාජ ජීවිතය වෙත එබී බැලීමට අවස්ථාව සලසා දෙයි. එක මත එකක් ලියැවී ඇති බහුවිධ දෘශ්‍යමය සහ ශ්‍රව්‍යමය සටහන්, ප්‍රක්ෂේපන සහ අපේක්ෂා මෙම ස්ථානවල ඉතිහාසය සහ වත්මන් සමාජ සහ දේශපාලන මතගැටුම් පිළිබඳ ඉඟි කරයි. මෙම නිර්මාණය සඳහා නිෂ්පාදන සහය ලබා දී ඇත්තේ ඉමාඩ් මජීඩ් විසිනි.

 

මෙම ප්‍රදර්ශනය, ශ්‍රී ලංකාවේ විවිධ මතවාද ඒකරාශී කරන ආගමික ස්ථාන සම්බන්ධයෙන් ඉදිරියේදී සම්පාදනය වනු ඇති ස්ථිර ප්‍රදර්ශනයක පූර්ව දර්ශනයකි. එහි දී මෙම ආගමික ස්ථානවලට ඇති වර්ණවත් ඉතිහාසය සහ වර්තමානයේ මෙම ස්ථානවල ඇති වැදගත්කම පිළිබිඹු වන විවිධ අධිලේඛනගත ද්‍රව්‍ය සහ වාචික ඉතිහාසය ඒ හරහා ඉදිරිපත් කෙරෙනු ඇත.
 

බිඳුනු ප්‍රතිමාවල ගීතයක් 

ජයිලානි

කූරගල ප්‍රදේශයේ දෆ්තාර් ජයිලානි පල්ලිය යනු ප්‍රාග් ඓතිහාසික ජනාවාසවල සාක්ෂි මෙන්ම බ්‍රාහ්මී හා අරාබි අක්ෂරයෙන් ලියැවුණු සෙල්ලිපි සොයාගැනීම හේතුවෙන් පුරාවිද්‍යාත්මක වශයෙන් බෙහෙවින් වැදගත් ස්ථානයක් වන බලංගොඩ සානුවේ පිහිටා ඇති පාෂාණමය ව්‍යුහයකි. ජයිලානි යන නම සෑදී ඇත්තේ සුෆි නිකායක් වන කදිරියියා නිකායේ ආරම්භකයා වශයෙන් සැලකෙන සුෆි මුනිවරයකු වන අබ්ද් අල්-කදිර් ජයිලානි (1078-1166) ඇසුරෙන් ය. බැග්ඩෑඩ් නුවර ගුරුවරයකු සහ ජූරි සභිකයකු ලෙස කටයුතු කිරීමට ප්‍රථමයෙන් එම මුනිවරයා මෙකී දෆ්තාර් ජයිලානි ගල් ගුහාවේ වසර 12ක් 13ක් පමණ භාවනානුයෝගීව සිටි බවට විශ්වාස කෙරේ. එම මුනිවරයා ඉරාකයේ භූමදාන කර ඇතත්, කූරගල පිහිටි පූජනීය ස්ථානය පුද සැලකිලි දක්වන ස්ථානයක් වශයෙන් සලකනු ලැබේ.
 
1970 ගණන්වල සිට මෙම ස්ථානය සම්බන්ධයෙන් සිංහල බෞද්ධ ජාතිකවාදී හිමිකම් පෑම් නැගී එන්නට ගැනීමත් සමගින් මෙය තවමත් පවතින වාදයකට තුඩු දුන් ස්ථානයක් බවට පත් වී තිබේ.

දළදා මාළිගාව, මහනුවර 

දළදා මාළිගාව යනු ශ්‍රී ලංකාවේ බෞද්ධයින්ට ඇති අතිශයින්ම පූජනීය වූ ස්ථානයකි. දළදා මාළිගාවේ ඇති පූජනීය වූ දන්ත ධාතුව වන්දනා කරගැනීම සඳහා දිවයිනේ සතර දිග් භාගයෙන් මෙන්ම විදේශවල සිට ද බැතිමත්හු පැමිණෙති. හින්දු සහ බෞද්ධ බැතිමතුන් විසින් වන්දනා කරන ස්කන්ධ, විෂ්ණු, නාථ, සහ පත්තිනි යන රැකවල් දෙවිවරුන් වෙනුවෙන් කැපවූ දේවාල හතරක් ද දළදා මාළිගා භූමියට ඇතුළත් වේ. ඇසළ පෙරහැර නොහොත් මහනුවර වාර්ෂික පෙරහැර ද සිදුවන්නේ දළදා මාළිගාව කේන්ද්‍ර කරගනිමිනි.
 
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති කාලයේ දී, 1998 ජනවාරි 25වැනි දින දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE) සංවිධානයෙන් මෙම ස්ථානයට එල්ල කළ බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් දළදා මාලිගාව සහ ආසන්න ගොඩනැගිලි තදබල ලෙස හානියට පත් විය. මහජනයාගෙන් ලැබුණු සැලකියයුතු ආධාර සමගින් එම පූජනීය ස්ථානයේ ප්‍රතිසංස්කරණ ඇරඹුනු අතර 1999 අගෝස්තු මාසයේදී ඒවා සම්පූර්ණ කරන ලදී. 

කන්දරෝඩෛ 

යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේ පිහිටා ඇති මෙම පුරාවිද්‍යා ස්ථානය, කුඩා බෞද්ධ ස්ථූප එකතුවකින් සමන්විත වේ. 'බ්‍රිතාන්‍ය සිවිල් සේවකයකු වූ ජේ.පී. ලුවිස් සහ සිංහල සිවිල් සේවකයකු වූ පෝල් පීරිස්" විසින් 1910 දී මෙම ස්ථානය නැවත සොයාගත් බව එලිසබෙත් හැරිස් සඳහන් කරයි. යාපනය අර්ධද්වීපයේ බෞද්ධ ස්ථූප පැවතීම, කාලයකට පෙර උතුරු නැගෙනහිර පළාත් සිංහල-බෞද්ධ පළාත් වූ බවට සාක්ෂි වන්නේ යැයි මේ දෙදෙනා තර්ක කර තිබේ. ලුවිස් සහ පීරිස් දෙදෙනාගේ අදහස් මත පදනම් වෙමින් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1972 දී කන්දරෝඩෛ නැවත ඉදිකරන්නට ගන්නා ලදී. පාදම් පමණක් ඉතිරි වී තිබුණු ස්ථූප, මිහින්තලේ (දකුණේ පිහිටි පන්සලකි) පිහිටි ස්ථූප හා සමාන රටාවකින් නැවත ඉදිකරන ලදී. 

 

කන්දරෝඩෛ යනු සිංහල බෞද්ධ ස්ථානයක් යන අදහස දෙමළ විද්‍යාර්ථීන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. මෙම ස්ථානයේ සිදුකරන ලද කැණීම් මත පදනම් වෙමින් සිවා ත්‍යාගරාජා තර්ක කරන්නේ කන්දරෝඩෛ යනු, තමිල්නාඩුවේ පිහිටා තිබූ මහාශිලා ජනාවාස සමගින් ශක්තිමත් සම්බන්ධතාවයක් තිබුණු, මහාශිලා යුගයේ වූ එවැනිම වෙළඳ මධ්‍යස්ථානයක් බවයි. ඔහු සඳහන් කරන්නේ කන්දරෝඩෛ සිංහල භාෂාව සහ එම ජන කොට්ඨාසය ඇතිවීමට පෙර පැවතියක් වන අතර, එවකට දිවයිනෙන් තුනෙන් එකක් ආවරණය වන සේ තිබුණු 'නාගනාඩු' හි අගනගරය වූ බවයි. කන්දරෝඩෛ සහ උතුරේ අනෙකුත් බෞද්ධ පුරාවිද්‍යා ස්ථානවල කැණීම්වලින් සොයාගත් සාක්ෂිවලින් පෙන්නුම් කෙරෙන්නේ 'මුල් කාලීන ද්‍රවිඩ හෝ දෙමළ සංස්කෘතියක' පැවතීම සහ ඊට සමකාලීනව ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් හි අමරාවතී ස්ථුපය මෙන්ම මෙරට ද දෙමළ ප්‍රජාව අතරේ මහායාන බුදුදහම පැවති බව යැයි ඔහු පෙන්වා දෙයි.

කින්නියා උණුවතුර උල්පත් 

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටා ඇති කින්නියා උණුවතුර උල්පත්/ ළිං ඓතිහාසිකව හින්දු සම්ප්‍රදාය සමගින් සම්බන්ධ වී තිබේ. 2014ට පෙර, රාවණා කථාවස්තුව මෙම උණුවතුර උල්පත් සමගින් සමීප ලෙස සම්බන්ධ වී තිබුණි.  2014 වර්ෂයේ දී මෙම උණුවතුර උල්පත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතට ගත් අතර, මෙම උණුවතුර ළිං බෞද්ධ විහාරයක කොටසක් වන බව කියාපාන අන්දමින් ඒ සම්බන්ධයෙන් විස්තර කෙරෙන නිල ආඛ්‍යානය සංශෝධනය කරන ලදී. යුද්ධය හේතුවෙන් ඒ වනවිටත් හානියට පත් වී තිබූ හින්දු කෝවිල නොසලකා හැරුණු අතර ඒ අසන්නයේ අළුතින් බෞද්ධ විහාරයක් ඉදිකරන ලදී. 

 

හින්දු කෝවිල පිහිටි ස්ථානයේ බෞද්ධ ස්ථුපයක් ඉදිකිරීම සඳහා එම ස්ථානය කැණීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2019 දී වෑයම් දරන ලදී. ඊට විරෝධය දැක්වීම සඳහා ප්‍රදේශයේ දේශපාලඥයින් සහ ප්‍රදේශවාසීන් රැස් වූ විට, එවැනි විරෝධතාවයක් හරහා ජනවාර්ගික ආතතිය වර්ධනය වෙතැයි කියාපාමින් විරෝධතාවය වැලැක්වීම සඳහා පොලීසිය අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගෙන තිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් උණුවතුර ළිං සහ කෝවිල සහිත ස්ථානයට ළඟා වීමට විරෝධතාකරුවන්ට තහනම් වී තිබුණි.

 

කාලයක් ගතවද්දී හින්දු කෝවිල විනාශ වී ගියේ ය. අඛණ්ඩව පැවති විරෝධතා සහ ජනාධිපතිවරයා වෙත කරන ලද ඉල්ලීමක් හේතුවෙන් ස්ථුපය ඉදිකිරීම අත් හිටුවන ලදී. එසේවුවත්, උණුවතුර උල්පත් සන හින්දු කෝවිල කරා ළඟාවීමේදී තවමත් තමන්ට පොලීසියෙන් සහ භික්ෂූන්ගෙන් බාධක එල්ලවන බව හින්දු බැතිමත්හු පවසති.
 

දීඝවාපිය 

අම්පාර පරිපාලනයේ දී සිදුවන ජනවාර්ගික ඛණ්ඩනය හා දීඝවාපියේ භූගෝලීය පිහිටීම; ගල් ඔය වාරි ව්‍යාපෘතියෙන් හැඩ ගැස්වුනු භූමියේ දේශපාලන ආර්ථිකය; සහ ජනවාර්ගික කොටස් තුළ හා ජනවාර්ගික කොටස් අතරේ පවතින දේශපාලන තරඟය හා 'වනාන්තර ඉඩම්' හා 'පුරාවිද්‍යා ස්ථාන' ඇතුළු විවිධ භූමි නම් කිරීම වැනි ඉඩම් ආරවුල් හේතුවෙන් දීඝවාපිය අතිශයින් විවාදයට තුඩුදුන් ස්ථානයක් වී තිබේ.

 

රජ මහා විහාරය සහ පරිවාර චෛත්‍ය දීඝවාපියේ පූජනීය භූමියේ ප්‍රධානතම තැනක් ගනියි. මහාවංශයට අනුව දීඝවාපිය යනු බුදුන් වහන්සේ තුන්වන වරට ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේ පූජනීයත්වයට පත් වූ ස්ථානයකි.

දඹුල්ල 

රංගිරි දඹුල්ල රජ මහා විහාරය ක්‍රි.පූ. පළමුවන සියවස තරම් දීර්ඝ අතීතයක් හිමි ස්ථානයකි. වඩාත්ම හොඳින් සංරක්ෂිතව රටේ පවතින ගුහා සංකීර්ණය වන්නේ මෙයයි. රංගිරි දඹුල්ල උයන්වත්ත රජමහා විහාරය යනු එම පර්වතය පාමුළ ඉදිකරන ලද නවීන දිගුවකි.

 

1990 දී, මධ්‍යම සංස්කෘතික අරමුදල (CCF) දඹුල්ල පර්වත විහාරය සඳහා ලෝක උරුම තත්ත්වය ලබා ගැනීමට සැලසුම් ආරම්භ කරන ලද අතර, එය 1991 දෙසැම්බර් 13 දින ප්‍රදානය කරන ලදී. මස්ජිද් උල් කයිරියා ජුම්මා මුස්ලිම් පල්ලිය සහ භද්‍රකාලි හින්දු කෝවිල සම්බන්ධයෙන් පවතින ආරවුල් හේතුවෙන් සිවිල් යුද්ධයට පසුව මෙම ප්‍රදේශය අන්තර් ආගමික ආතතීන් සහ මුස්ලිම්-විරෝධී හැඟීම් වර්ධනය වීමේදී ප්‍රමුඛස්ථානයක් ගෙන ඇත.

ශ්‍රී පාදය

Adam’s Peak, ශ්‍රී පාදය හා සමනල කන්ද යන නම් වලින් හඳුන්වන ස්ථානය ශ්‍රී ලංකාවේ විවිධ වූ ජනවාර්ගික-ආගමික සහ ස්වදේශික ප්‍රජාවන්ට අතිවිශේෂ වැදගත්කමකින් යුතු ස්ථානයකි. ශ්‍රී පාදයේ පිහිටා ඇති පා සටහන බුදුන්වහන්සේගේ පා සටහනක් යැයි බෞද්ධයෝ විශ්වාස කරති. මුස්ලිම්වරුන් විශ්වාස කරන්නේ ඊඩන් උද්‍යානයෙන් පලවා හැරි ආදම් පොළොවට ඇද වැටීමේදී ඉතිරි වූ ආදම් ගේ පිය සටහනක් බවයි. සිවනෝලිපාද මලෛ (ශිව දෙවියන්ගේ පිය සටහන ඇති කන්ද) යනුවෙන් මෙම කන්ද හඳුන්වන හින්දුවරු 'ලෝකය නිර්මාණය කිරීමේ නර්තනයේ යෙදුනු' ශිව දෙවියන් විසින් මේ පිය සටහන ඉතිරි කර ගොස් ඇතැයි විශ්වාස කරති. ඇතැම් ක්‍රිස්තියානි බැතිමතුන්ගේ විශ්වාසයට අනුව මේ පියසටහන ශ්‍රී ලංකාවට ක්‍රිස්තියානි ආගම හඳුන්වාදුන්නේ යැයි කියැවෙන ශාන්ත තෝමස්තුමන්ගේ පා සටහනකි. මෙම ස්ථානය සම්බන්ධයෙන් හින්දු ආගමේ වැදගත්කම ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන කඳුරට දෙමළ ප්‍රජාව විසින් නිරූපණය කරන ප්‍රමුඛ භූමිකාව හේතුවෙන් පුනර්ජීවය ලබා තිබේ.

දෙවනගල

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ලේ පිහිටා ඇති පුරාවිද්‍යා ස්ථානයක් වන දෙවනගල සඳහා බෞද්ධ සහ මුස්ලිම් යන ප්‍රජාවන් දෙකම හිමිකම් කීම හේතුවෙන් දිගින් දිගටම පැවති ජනවාර්ගික ගැටුම් මාලාවක් ඇති වී තිබේ. දෙවනගල පර්වතයේ සෙල්ලිපි දෙකක් තිබේ. ඉන් එක් සෙල්ලිපියක් පොලොන්නරු යුගයේ සෙල්ලිපියක් වන අතර, ඉන් කියැවෙන්නේ මහා පරාක්‍රමබාහු රජතුමා මියන්මාරයේ රජු පරාද කළ තම සෙන්පතියකු වෙත වරදානයක් වශයෙන් ගම්මානයක් ත්‍යාග කිරීම සම්බන්ධයෙනි.  මහනුවර යුගයේ ලියැවී ඇති දෙවන සෙල්ලිපිය තමන්ට රජකම ලබාගැනීමට උපකාර කළ භික්ෂූන් වහන්සේනමකට විමලධර්මසූරිය රජතුමා විසින් රුවන්දෙණිය ගම්මානයෙන් ඉඩම් පූජා කිරීම සම්බන්ධයෙනි.

 

ප්‍රාදේශීය බෞද්ධ සහ මුස්ලිම් ප්‍රජාවන් සහජීවනයේ සහ මිත්‍රත්වයේ කාල පරිච්ඡේද භුක්ති විඳිනු ලැබුවත්, ආර්ථික එදිරිවාදිකම් නිසා හටගත් ආතතීන් ද තිබේ. දෙවනගල සම්බන්ධයෙන් විවාදාත්මක තත්වය මතු වූයේ 2009 න් පසු කාලය තුළ අන්තවාදී කණ්ඩායම් විසින් ජාතික මට්ටමින් මුස්ලිම් විරෝධී කතා ඉස්මතු කරනු ලැබූ යුගයකය. දෙවනගල සම්බන්ධයෙන් ආරවුල් දිගටම පවතින අතර, මේ සඳහා පිළිගත හැකි විසඳුමක් අද දක්වාම ලැබී නොමැත.

කතරගම

බහු ආගමික සංකලනයේ සංකේතයක් වශයෙන් සලකනු ලබන, ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ පිහිටා ඇති කතරගම/කදිරගාමම් සංකීර්ණය 1963 දී පූජනීය ස්ථානයක් වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. බෞද්ධ සහ හින්දු බැතිමත්හු මෙම ස්ථානයේ දී අනෙකුත් දෙවිවරුන්ද ඇතුළුව ස්කන්ධ සුරිඳුගේ පිහිට පතති. සුෆි මුනිවරයකුගේ සුසානඝරය ද කතරගම පිහිටා තිබෙන අතර ස්වදේශිය වැදි ජනයාට ද මෙය වැදගත් ස්ථානයකි. යාපනයෙන් ආරම්භ වන වාර්ෂික පාදයාත්‍රා වන්දනාව ද අවසානයේ ළඟා වන්නේ කතරගම පුද භූමියටය. ශ්‍රී ලංකාවේ ස්කන්ධ දෙවිඳුන්ට පූජා පවත්වන විවිධ ජනවාර්ගික-ආගමික ප්‍රජාවලට අයත් බැතිමතුන් මේ ගමනට එක් වේ.

bottom of page